ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර මාලාවක් හේතුවෙන් සිව් හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය අංශ තහවුරු කරයි. මෙම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මධ්‍යම ගාසා තීරයේ සවායිඩා නගරයේ පිහිටි ගොඩනැගිල්ලක් ඉලක්ක කර පළමු ප්‍රහාරය එල්ල වී තිබේ. ප්‍රහාරයට පෙර එම ස්ථානයෙන් ඉවත් වන ලෙස අනතුරු ඇඟවීම් සිදුකර තිබුණද, ගොඩනැගිල්ලේ සුන්බුන්වලට හසුවීමෙන් සිව් හැවිරිදි මොහොමඩ් අබ්දෙල් සලාම් ටාහා නම් දරුවා බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

දෙවන ගුවන් ප්‍රහාරය නුසෙයිරාත් සරණාගත කඳවුර ඉලක්ක කරගෙන එල්ල වී තිබේ. මෙම සිද්ධීන් සම්බන්ධයෙන් තමන් විමර්ශන සිදුකරමින් පවතින බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරයි.

ගාසා තීරයෙන් ඊශ්‍රායල දේශසීමාව දෙසට ඩ්‍රෝන යානා සහ බැලූන භාවිතයෙන් ප්‍රහාර එල්ල වන බව පවසමින්, ඉදිරියේදී සිය ප්‍රහාර තවදුරටත් දැඩි කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version