වර්තමාන ගෝලීය සමාජය විවිධ දේශපාලන, ආර්ථික හා මානුෂීය අර්බුදයන්ට මුහුණ දී සිටින වටපිටාවක, විශේෂයෙන්ම දරුණු යුද ගැටුම් හේතුවෙන් අහිංසක මිනිස් ජීවිත පීඩාවට පත්ව ඇති අවස්ථාවක මුහම්මද් නබි නායකතුමාගේ දර්ශනය වෙන කවරදාටත් වඩා අදට වලංගු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ජාතික මිලාද් උන් නබි උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර ඇත. ශුද්ධ වූ මුහම්මද් නබි තුමාණන්ගේ ජන්ම දිනය සනිටුහන් කරමින් ශ්‍රී ලාංකීය මෙන්ම සමස්ත ලෝකවාසී මුස්ලිම් ජනතාව ඉමහත් භක්තියෙන් හා ගෞරවයෙන් මෙම උත්සවය සමරනු ලබයි.

උන්වහන්සේ සමස්ත ලෝකයා වෙතම දේශනා කළේ සාමය, සමානාත්මතාවය, දයාව සහ අන්‍යෝන්‍ය ගෞරවයේ උදාර පණිවුඩය බව අගමැතිවරිය පෙන්වා දෙයි. නබිතුමාගේ ජීවිතයෙන් වත්මන් සමාජයට ගත හැකි සුවිශේෂීම ආදර්ශය වන්නේ සාධාරණත්වය, ආගමික ඉවසීම සහ පොදු ජන සුභසිද්ධිය උදෙසා කැපවීම බව ඇය අවධාරණය කර ඇත.

විවිධ ජාතීන් සහ ආගමිකයන් වෙසෙන රටක් ලෙස එකිනෙකා කෙරෙහි සංවේදී වෙමින් සාමූහිකව නැගී සිටීමට උන්වහන්සේගේ ආදර්ශයන් ප්‍රායෝගිකව ජීවිතයට ගලපා ගත යුතු බව අග්‍රාමාත්‍යවරිය සිය පණිවුඩයෙන් පෙන්වා දී තිබේ.

මෙවර ජාතික සැමරුම ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මීගමුව පෙරියමුල්ල අල් හිලාල් ජාතික පාසල් පරිශ්‍රයේදී පැවැත්වේ. රට තුළ විවිධත්වයේ සුන්දරත්වය අගයමින් ආගමික සහජීවනය, එකමුතුකම සහ සහෝදරත්වය ශක්තිමත් කිරීමට එය කදිම අවස්ථාවක් වනු ඇති බව ඇය විශ්වාසය පළ කරයි.

ගෝලීය යුද වාතාවරණයන්ගෙන් මිදී සාමය රජයන ලෝකයක් බිහිවේවායි ප්‍රාර්ථනා කරන අග්‍රාමාත්‍යවරිය, යුද්ධයේ කෲරත්වයෙන් බැටකන සහ පීඩාවට පත් සියලුම ජනතාවට සාමය උදාවේවා යන්න සැමගේ ඒකායන ප්‍රාර්ථනාව විය යුතු බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version