නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී පවතින ක්‍රමවේදයට පමණක් සීමා නොවී, සෑම දරුවෙකුටම උපාධියක් දක්වා අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය මාවත විවර කර දීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිතයින් සමඟ පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී ප්‍රධාන වශයෙන් හෙද අධ්‍යාපනය ඩිප්ලෝමා මට්ටමෙන් ඔබ්බට ගොස් උපාධි මට්ටම දක්වා ඉහළ නැංවීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. හෙද උපාධිය ලබා දීම සඳහා පත්කර ඇති කමිටුවේ වාර්තාව කඩිනමින් ලබා ගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය විය.

අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන යන මාර්ග දෙක ඔස්සේ දරුවන්ට උපාධි ලබා ගැනීමට සහ වෘත්තීය ක්ෂේත්‍රවලට පිවිසීමට අවශ්‍ය පසුබිම නව ප්‍රතිසංස්කරණ හරහා සකස් කරන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. හෙද ක්ෂේත්‍රය මෙන්ම වැඩිහිටි සත්කාර වැනි සෞඛ්‍ය අංශයේ අනෙකුත් වෘත්තීන් සඳහා ද උසස් අධ්‍යාපන අවස්ථා ලබා දීමේ අවශ්‍යතාවය ඇය පෙන්වා දුන්නාය.

මෙම අවස්ථාවට අදාළ අමාත්‍යාංශ නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහඳවාරච්චි මහතා ඇතුළු විධායක කමිටු සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version