අධිකරණ විනිසුරුවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස ඉහළ දැමීමට සහ විනිසුරුවන් සංඛ්‍යාව වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත නිල පිළිතුරක් යොමු කර ඇත. විනිසුරුවරුන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනී මාග්‍රට් සැටර්ත්වේට් මහත්මිය වෙත මෙම පිළිතුරු ලිපිය යොමු කර තිබේ.
මෙම සංශෝධනවල මූලික අරමුණ අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදය අවම කිරීම සහ ජනතාවට අධිකරණ සේවාවන් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට අවස්ථාව සලසා දීම බව රජය පෙන්වා දෙයි. මෙම පියවර කිසිදු දේශපාලන වාසියක් හෝ නිශ්චිත පුද්ගලයෙකුගේ ධුර කාලය දීර්ඝ කිරීමේ අරමුණින් සිදු නොකරන බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
නව සංශෝධන අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ වයස අවුරුදු 65 දක්වාත් ඉහළ දැමීමට නියමිතය. මීට අමතරව මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63ක් ලෙසත්, සෙසු පහළ අධිකරණ විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62ක් ලෙසත් ඒකාබද්ධ කිරීමට යෝජනා වී ඇත.
පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා විනිසුරුවන් සංඛ්‍යාව ද වැඩි කිරීමට සැලසුම් කර ඇති අතර, එමගින් අධිකරණ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් සිදු නොවන බව රජය අවධාරණය කරයි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පළපුරුදු විනිසුරුවන් පද්ධතිය තුළ රඳවා ගැනීම ආයතනික අඛණ්ඩතාවයට අත්‍යවශ්‍ය බව ද රජය පෙන්වා දෙයි.
මෙම පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් කිහිපයක් ගොනු කර ඇත. ඒ අනුව, අධිකරණය විසින් ලබා දෙන ඕනෑම තීන්දුවකට රජය පූර්ණ ගරුත්වය ලබා දෙන බව ද එම රාජ්‍ය තාන්ත්‍රික සන්දේශය මගින් වැඩිදුරටත් දන්වා තිබේ.
