නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලය මේ වන විට අතිශය දූෂිත තත්ත්වයට පත්ව ඇති බවත්, එම ජලය පානය කිරීම හෝ ශරීරගත වීමෙන් මරණය පවා සිදුවිය හැකි බවත් මධ්‍යම පරිසර අධිකාරිය අනතුරු අඟවයි. නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී මෙම කරුණු විද්‍යාත්මකව තහවුරු කර ඇත.
නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා සඳහන් කළේ, වසර ගණනාවක් පුරා නිසි නඩත්තුවකින් තොරව පැවතීම සහ අවට ප්‍රදේශවලින් බැහැර කෙරෙන රසායනික ද්‍රව්‍ය, පොහොර සහ කෘමිනාශක වැවට එක්වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බවයි.
පවතින දත්තවලට අනුව, වැවේ ජලයේ තිබිය යුතු පොස්ෆේට් ප්‍රමාණය මිලිග්‍රෑම් 0.20ක් වුවද, දැනට එය මිලිග්‍රෑම් 1.04ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම නයිට්‍රජන් සාන්ද්‍රණය මිලිග්‍රෑම් 3.70ක් ලෙස වාර්තා වන අතර, ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම ද මිලිග්‍රෑම් 9.72ක් දක්වා ඉහළ ගොස් ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය හමුවේ වැව ආශ්‍රිත ජලයේ පවතින සංකීර්ණ රසායනික වෙනස්කම් හේතුවෙන් එය මිනිස් පරිභෝජනයට කිසිසේත්ම නුසුදුසු බව පරිසර නිලධාරීන් අවධාරණය කරයි. වැව යථා තත්ත්වයට පත් කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ කමිටුවක් හරහා ඉදිරි පියවර ගැනීමට සැලසුම් කර ඇත.
