විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (02) සහ හෙට (03) යන දෙදින තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.
මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමයි.
සංචාරය අතරතුර අමාත්‍යවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් හා එමිරේටීකරණ අමාත්‍ය ආචාර්ය අබ්දුල්රහ්මාන් අබ්දුල්මන්නාන් අල් අවාර් සහ ආර්ථික හා සංචාරක අමාත්‍ය අබ්දුල්ලා බින් තවුක් අල් මාරි යන මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
එමෙන්ම, අද දින ඩුබායිහි පැවැත්වෙන ‘Sri Lanka Beyond Your Dreams’ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනේ දෙවැනි අදියර සඳහා ද අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී වනු ඇත. එහිදී එරට විදේශ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය තානි බින් අහමද් අල් සෙයුඩි මහතා සමඟ ද අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක නිරත වීමට නියමිත බව සඳහන් වේ.
