විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී අවසන් විය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාග කෙරිණි.
පෙත්සම් විභාගය අතරතුර කරුණු දැක්වූ බලංගොඩ කස්සප හිමියන්, යෝජිත සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් කරුණු ඉදිරිපත් කළහ. එහිදී උන්වහන්සේ බුදු දහම හා බැඳුණු නිරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කළ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් අගවිනිසුරුවරයා අවධාරණය කළේ අධිකරණය තීන්දු තීරණ ගනු ලබන්නේ ධර්මය මත පදනම්ව නොව රටේ පවතින නීතිය මත පමණක් බවයි.
අධිකරණයේ කාලය අපතේ නොයවා නෛතික කරුණු පමණක් ඉදිරිපත් කරන ලෙස අගවිනිසුරුවරයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය. පනත් කෙටුම්පතට සහය පළ කරමින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන්නේ, මෙම සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවයි.
දෙදිනක් පුරා පැවති මෙම පෙත්සම් විභාගය අවසානයේ, අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය කථානායකවරයා වෙත දැනුම් දෙන බව අධිකරණය නිවේදනය කළේය. සියලු පාර්ශ්වයන්ට තම ලිඛිත දේශන ගොනු කිරීම සඳහා අද පස්වරු 3.00 දක්වා කාලය ලබා දී ඇත.
