අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග, විදුලි කුළුණු සහ ග්‍රිඩ් උපපොළවල් ආසන්නයේ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

සරුංගල් සහ ඒවා සඳහා භාවිතා කරන නූල් විදුලි රැහැන්වල පැටලීම හේතුවෙන් විදුලි සම්ප්‍රේෂණ මාර්ග හදිසියේ ක්‍රියා විරහිත වීමේ සිදුවීම් වාර්තා වී ඇත. මෙවැනි දෝෂයන් ජාතික විදුලි පද්ධතියේ ආරක්ෂාවට සහ ස්ථායීතාවයට බරපතල තර්ජනයක් බව එම සමාගම පෙන්වා දෙයි.

පසුගිය සැප්තැම්බර් 02 වන දින මෙවැනි සිදුවීමක් හේතුවෙන් ජාතික විදුලි පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා හදිසි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවීමට පවා සිදුවූ බව වාර්තා වේ.

සම්ප්‍රේෂණ මාර්ගවල පැටලෙන සරුංගල් සහ නූල් ඉවත් කිරීම සඳහා විශේෂිත ආරක්ෂිත ක්‍රියාපටිපාටි අනුගමනය කිරීමට සිදුවන අතර, එය ජාතික විදුලි පද්ධතියේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වයට බාධාවකි. එබැවින් විදුලි පද්ධතියේ සුරක්ෂිතභාවය වෙනුවෙන් මහජනතාවගේ වගකීම් සහගත සහයෝගය අපේක්ෂා කරන බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version