භූතානයේ පැවැත්වෙන සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගී වීම සඳහා එරට සංචාරයක නිරත අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, භූතානයේ අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය යීසාං දේ තාපා මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ භූතානය අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි. විශේෂයෙන්ම අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කර ඇත.
එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ලේකම් මට්ටමේ ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් පත් කිරීමට ද තීරණය වී තිබේ. විශ්වවිද්‍යාල මට්ටමින් ආචාර්ය මණ්ඩල හුවමාරු වැඩසටහන්, ඒකාබද්ධ පර්යේෂණ සහ පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම මගින් දෙරටේ අධ්‍යාපන ක්ෂේත්‍රය නංවාලීමට මෙහිදී සාකච්ඡා විය.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය, දන්ත වෛද්‍ය සහ භෞත චිකිත්සාව ඇතුළු සෞඛ්‍ය විද්‍යා ක්ෂේත්‍රවල පශ්චාත් උපාධි අවස්ථා භූතාන සිසුන් සඳහා ලබාදීම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය කරුණු ඉදිරිපත් කළාය. දරුවන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ වැදගත්කම පිළිබඳව ද දෙපාර්ශ්වය අවධාරණය කළහ.
