ශ්‍රී ලංකා පොලිසියේ 160 වන සංවත්සරය නිමිත්තෙන් තිඹිරිගස්යාය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පැවති උත්සවයකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැදගත් ප්‍රකාශයක් සිදු කළේය. පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂ අවදානම් දීමනාවක් හඳුන්වා දීමටත්, ඔවුන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය සහ මානව සම්පත් බඳවා ගැනීම් කඩිනම් කිරීමටත් පියවර ගන්නා බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
පසුගිය වසර 160ක කාලය තුළ රටේ විවිධ අභියෝගාත්මක අවස්ථාවන්හිදී පොලිසිය ඉටු කළ කාර්යභාරය ජනාධිපතිවරයා මෙහිදී ඇගයීමට ලක් කළේය. විශේෂයෙන්ම පසුගිය වසර දෙක තුළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී සහ ජාත්‍යන්තර සහාය ඇතිව අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේදී පොලිසිය දැක්වූ දක්ෂතා ඔහු සිහිපත් කළේය.
මෙම උත්සවයේදී පොලිස් සේවාවන් කාර්යක්ෂම කිරීමේ අරමුණින් නව ජංගම දුරකථන යෙදුමක් (Mobile App) සහ නවීකරණය කළ නිල වෙබ් අඩවියක් ද ජනාධිපතිවරයා විසින් විවෘත කරන ලදී. එසේම, දීර්ඝ සේවා පදනම මත උසස්වීම් ලැබූ පොලිස් නිලධාරීන් 1600කට අධික පිරිසකට උසස්වීම් ලිපි ප්රදානය කිරීම ද සිදු විය.
පොලිසිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා, නීතිය ක්‍රියාත්මක කිරීමේදී පවතින ප්‍රමාදයන් අවම කරමින් විමර්ශන කඩිනම් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
