ශ්රී ලංකා පාර්ලිමේන්තුව අද (08) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතය. පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ සිට පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22(1) සිට 22(6) දක්වා වූ කටයුතු සඳහා වෙන් කර තිබේ.
පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා කාලය වෙන් කර ඇති අතර, ඉන් අනතුරුව පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න ඇසීමට අවස්ථාව හිමිවේ.
අද දින පාර්ලිමේන්තුවේ ප්රධාන කාර්යභාරය ලෙස මෝටර් රථ වාහන පනතේ 203 වැනි පරිච්ඡේදය යටතේ ප්රකාශයට පත් කර ඇති අංක 2489/22 සහ 2493/19 දරන ගැසට් නිවේදන දෙකෙහි අඩංගු නියෝග අනුමත කර ගැනීම සඳහා විවාදයක් පැවැත්වීමට නියමිතය. මෙම විවාදය පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ.
පාර්ලිමේන්තු කටයුතු අවසානයේ පස්වරු 5.00 සිට 5.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
