කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් ජනතාවගේ ජීවිත යහපත් කළ නොහැකි බවත්, නගරයක් යනු එහි වෙසෙන මිනිසුන් මෙන්ම සතුන් ඇතුළු සියලු දෙනාටම ආරක්ෂාව සහ අයිතිය හිමි නිදහස් ස්ථානයක් විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට සමගාමීව ක්‍රියාත්මක වන “Life Cities” (ජීවන නගර) සංවර්ධන වැඩසටහනේ නිල සමාරම්භක උත්සවයට කොළඹදී එක්වෙමිනි. මෙහිදී පළමු අදියර යටතේ සංවර්ධනය කිරීමට නියමිත නගර දහයක ව්‍යාපෘති සැලසුම් පළාත් පාලන නියෝජිතයින් වෙත භාරදීම සිදු කෙරිණි.

අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ, දිවයින පුරා නගර 26ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 65ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි. නගරවලට ආවේණික අනන්‍යතාව ආරක්ෂා කරමින් ජනතා කේන්ද්‍රීය තිරසාර සංවර්ධනයක් සිදු කිරීම රජයේ අපේක්ෂාව බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මාතර, මඩකළපුව, මාතලේ, වව්නියාව, බදුල්ල, යාපනය, හලාවත, හැටන්, තලාව සහ ඇහැලියගොඩ යන නගර මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ සංවර්ධනය කෙරේ. නගරාධිපතිවරුන් පෙන්වන ප්‍රගතිය මත ඉදිරි ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කරන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version