ඉන්දුනීසියාවේ ජාවා මුහුදේදී මගී ප්‍රවාහන නෞකාවක් පෙරළී යාමෙන් බරපතල ඛේදවාචකයක් වාර්තා වී තිබේ. මෙම අනතුරෙන් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 130 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව එරට බලධාරීන් තහවුරු කරයි. අනතුරට ලක්වූ ‘Virgo Transport 8’ නෞකාවේ සිටි 107 දෙනෙකු මේ වන විට බේරාගෙන ඇත.
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ නෞකාව සුරබයා නගරයේ සිට දකුණු කලිමන්තන් ප්‍රාන්තයේ බන්ජර්මසින් නගරය බලා ගමන් කරමින් තිබියදී මෙම අනතුර සිදුව ඇත. ඉරිදා අලුයම 4.10ට පමණ නෞකාවෙන් අනතුරු ඇඟවීමේ පණිවුඩයක් ලැබී ඇති අතර, ඉන්පසු සන්නිවේදන සබඳතා බිඳ වැටී තිබේ.
අතුරුදන් වූවන් සෙවීම සඳහා ඉන්දුනීසියානු නාවික හමුදාව, සමුද්‍රීය පොලිසිය සහ සෙවීම් හා මුදාගැනීම් ඒජන්සිය එක්ව දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇත. හෙලිකොප්ටර් යානා සහ නෞකා යොදාගනිමින් පුද්ගලයන් 280කට අධික පිරිසක් මෙම මෙහෙයුමට එක්ව සිටිති.
නෞකාවේ ගමන් කළ මගීන්ගේ ඥාතීන් බන්ජර්මසින්හි ට්රිසක්ටි වරායට සහ සුරබයාහි තන්ජුං පෙරක් වරායට පැමිණ තම ආදරණීයයන් පිළිබඳ තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින අයුරු දක්නට ලැබේ. නෞකාවේ ගමන් කළ මගියෙකු තම ඥාතියෙකුට යොමු කළ පණිවුඩයක සඳහන්ව තිබුණේ මුහුදේ රළ ඉතා භයානක ලෙස පවතින බවයි.
