කැනඩාවේ වික්ටෝරියා නුවරදී අගෝස්තු 31 සිට සැප්තැම්බර් 2 දක්වා පැවති 28 වන වාර්ෂික ඉන්දු-පැසිෆික් ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුව (CHOD) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා එක් විය.
“සාමූහික ආරක්ෂාව ශක්තිමත් කිරීම: ගතික ඉන්දු-පැසිෆික් භූ දර්ශනයක අභියෝගවලට මුහුණ දීම” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්විණි. කැනඩාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජෙනී කැරිනන් සහ ඇමරිකානු ඉන්දු-පැසිෆික් අණදෙන නිලධාරී අද්මිරාල් සැමුවෙල් ජේ. පැපාරෝ යන මහත්ම මහත්මීන් විසින් සමුළුව සම-සත්කාරකත්වය දරන ලදී.
සමුළුව අතරතුර, කලාපීය සහ ජාත්‍යන්තර ආරක්ෂක අභියෝග පිළිබඳව ශ්‍රී ලංකාවේ දෘෂ්ටිකෝණයන් ඉදිරිපත් කිරීමට ආරක්ෂක ලේකම්වරයා කටයුතු කළේය. ඉන්දු-පැසිෆික් කලාපයේ රටවල් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමු විය.
සමුළුවට සමගාමීව, සහභාගී වූ රටවල ආරක්ෂක ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට ද ආරක්ෂක ලේකම්වරයා කටයුතු කළේය. හමුදා පුහුණුව, ධාරිතා සංවර්ධනය, සමුද්‍රීය ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව සහ ආපදා කළමනාකරණය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ විය.
මෙම සමුළුව සඳහා රටවල් 30ක පමණ ආරක්ෂක සහ හමුදා ප්‍රධානීන් සහභාගී වී සිටි අතර, ගෝලීය ආරක්ෂක අභියෝග ජය ගැනීම සඳහා සාමූහික ප්‍රයත්නයන්හි වැදගත්කම පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.
