2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව කතෝලික සභාව විසින් සාදරයෙන් පිළිගෙන තිබේ. කෙසේ වෙතත්, වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමේ සමස්ත ක්‍රියාවලිය මෙයින් අවසන් නොවන බව සභාව අවධාරණය කර සිටියි.

කොළඹ අගරදගුරු පදවියේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, වසර ගණනාවක් පුරා යුක්තිය පතා සිටින විපතට පත්වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙම අධිකරණ තීන්දුව වැදගත් පියවරක් වන බවයි.

ආගමික අන්තවාදයට එරෙහිව මෙම තීන්දුව වැදගත් පණිවිඩයක් ලබා දෙන බව පෙන්වා දුන් පියතුමා, හිංසනය හෝ ත්‍රස්තවාදය සාධාරණීකරණය කිරීමට කිසිදු විටෙක ආගම විකෘති ලෙස භාවිත නොකළ යුතු බවට ද මතක් කර දුන්නේය.

වරදකරුවන්ට එරෙහි නඩු කටයුතු යනු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලිය යුතු කරුණුවල එක් කොටසක් පමණක් බව පෙන්වා දුන් ක්‍රිශාන්ත පියතුමා, ප්‍රහාර සඳහා පහසුකම් සැලසීම සහ සහාය වීම වැනි කරුණු සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්වයන්ගේ සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳ පුළුල් විමර්ශන අඛණ්ඩව සිදු කළ යුතු බව ඉල්ලා සිටියේය.

ප්‍රහාර වළක්වා ගැනීමට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් නිසි ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව මීට පෙර මතු වූ චෝදනා ද ගැඹුරින් විමර්ශනය කළ යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. වගකිවයුතු සියලු පාර්ශ්ව පිළිබඳව නිසි පරීක්ෂණ පවත්වන තෙක් යුක්තිය ඉටුකිරීමේ මෙහෙයුම පරිපූර්ණ වූවක් ලෙස සභාව නොසලකන බව ඔහු අවධාරණය කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version