කොළඹ නගරය ආශ්රිතව පිහිටි මහල් නිවාස සංකීරණ 24ක ආරක්ෂාව තහවුරු කිරීම සහ එහි පවතින අපරාධ මෙන්ම මත්ද්රව්ය ජාවාරම් මැඩලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත, කොළඹ දිසාව භාර නියෝජ්ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතාගේ ප්රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු දමිත් දිසානායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මහල් නිවාස ආශ්රිතව සිදුවන මත්ද්රව්ය ජාවාරම් සහ පොදු දේපළවලට හානි කිරීමේ සිදුවීම් පාලනය කිරීම මෙහි ප්රධාන අරමුණයි. ඒ අනුව, අදාළ ප්රදේශවල පොලිස් මුරපොළවල් ස්ථාපිත කිරීම සහ නිරන්තර පොලිස් මුර සංචාර යෙදවීමට තීරණය කර තිබේ.
මීට අමතරව, දැනට පවතින පොලිස් මුරපොළවල් අලුත්වැඩියා කිරීම සහ නව මුරපොළවල් අවශ්ය ස්ථාන හඳුනාගෙන ඒවා ස්ථාපිත කිරීමට ද දෙපාර්ශ්වය එකඟතාවයකට පැමිණ ඇත. පොදු දේපළවලට හානි සිදුකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට ද මෙහිදී තීරණය කෙරිණි.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ශ්රී ලංකා පොලිසියට පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වී තිබේ. කොළඹ දිස්ත්රික්කයේ ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
