විශ්වවිද්යාල පද්ධතිය තුළ පවතින ගැටලු විසඳීමට බලධාරීන් නිසි පියවර නොගැනීම නිසා 2025 උසස් පෙළ ශිෂ්ය කණ්ඩායම විශ්වවිද්යාලවලට බඳවා ගැනීම හෝ ඔවුන්ගේ අධ්යයන කටයුතු ආරම්භ කිරීම මේ වන විට බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි විශ්වවිද්යාලීය ආචාර්ය සමිති සම්මේලනය පෙන්වා දෙයි.
මෙම තත්ත්වයට ප්රධාන හේතුව විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ හිඟය බව එම සම්මේලනයේ ලේකම්, ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කරයි. දැනටමත් විශ්වවිද්යාලවල නියමිත ශිෂ්ය කණ්ඩායම් සංඛ්යාවට වඩා වැඩි පිරිසක් අධ්යාපනය ලබමින් සිටින බවත්, ඇතැම් පීඨවල ශිෂ්ය කණ්ඩායම් හයක් පමණ එකවර අධ්යයන කටයුතුවල නිරත වන බවත් ඔහු පවසයි.
සෞන්දර්ය කලා විශ්වවිද්යාලයේ උදාහරණයක් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, 2024 උසස් පෙළ සිසුන්ගේ අධ්යයන කටයුතු පවා ආරම්භ වූයේ පසුගිය සතියේ බවයි. මෙවැනි පසුබිමක් තුළ 2025 කණ්ඩායම සැප්තැම්බර් මාසයේදී බඳවා ගැනීම ප්රායෝගික නොවන බව ආචාර්යවරුන්ගේ මතයයි.
උසස් පෙළ විභාගයෙන් පසු විශ්වවිද්යාල ප්රවේශය සඳහා සිසුන්ට වසර ගණනාවක් නිවසේ රැඳී සිටීමට සිදුවීම විශාල සමාජ අර්බුදයක් බව ද ඔහු අවධාරණය කරයි. පවතින තත්ත්වය මත ඉදිරියේදී මෙම බලා සිටීමේ කාලය වසර හතරක් දක්වා දීර්ඝ වීමේ අවදානමක් පවතී.
පසුගිය කාලය පුරා ආචාර්යවරුන් සිය උපරිම කැපවීමෙන් මෙම ශිෂ්ය කණ්ඩායම් කළමනාකරණය කර ගත්ත ද, තවදුරටත් එම තත්ත්වය යටතේ කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බව විශ්වවිද්යාලීය ආචාර්ය සමිති සම්මේලනය වැඩිදුරටත් අවධාරණය කරයි.
