ජපානයේ නාගානෝ නගරයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මසුමි මයිසාකා මහත්මිය බෞද්ධාගම අදහන පුතුන් දෙදෙනෙකුගේ මවකි. ඇයගේ අධ්‍යාත්මික නැඹුරුව ආරම්භ වී ඇත්තේ සිහිනයකින් මොනරකුගේ පිට නැග ගිය පුද්ගලයෙකු දුටු දිනක සිටය. පසුව අන්තර්ජාලය ඔස්සේ සිදුකළ සෙවීම් හරහා කතරගම පුදබිම සහ මුරුගන් දෙවියන් පිළිබඳව හැදෑරීමට ඇය යොමු වී තිබේ.

පළමුව කතරගම පුදබිමෙන් ලබාගත් පිළිම සහ පින්තූර ජපානයට රැගෙන ගොස් ඇය එරට තුළ කුඩා ආශ්‍රමයක් ආරම්භ කර ඇත. කාලයත් සමඟ ඇයගේ හිතවතුන් සහ ඥාතීන් එම ස්ථානයට පැමිණීමත් සමඟ, එය මේ වන විට ජපානයේ බැතිමතුන්ගේ ප්‍රධාන ආධ්‍යාත්මික කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ.

සංචාරක චාරිකාවකට පමණක් සීමා නොවී, ඇය ලංකාවට පැමිණෙන වාරයක් පාසා අසරණ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග සිදුකිරීමට කටයුතු කරයි. මෙවර ඇය මොනරාගල කුඹුක්කනේ පාසලක ආබාධිත දරුවන්ගේ සුබසාධනය සහ ගොඩනැගිලි සංවර්ධනය වෙනුවෙන් විදුහල්පතිවරයා වෙත මූල්‍ය ආධාර ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ ආගමික ස්ථානවල පවතින ඇතැම් තත්ත්වයන් පිළිබඳව ද ඇය සිය අදහස් ප්‍රකාශ කර තිබේ. විශේෂයෙන්ම ඇතැම් බැතිමතුන් ආගමික ස්ථාන වෙත පැමිණීමේදී නිසි ඇඳුම් පැළඳුම් වලින් තොරව සහ ජංගම දුරකථනවලට පමණක් ඇබ්බැහි වී සිටිනු දැකීම කනගාටුවට කරුණක් බව ඇය පෙන්වා දෙයි.

කතරගම ශ්‍රී වල්ලිමාතා පුරාණ ගල්ලෙන් විහාරාධිපති ආචාර්ය කුරුකුදේගම ජිනානන්ද හිමියන් සඳහන් කළේ මසුමි මයිසාකා මහත්මිය සහ ඇය සමඟ පැමිණෙන ජපාන ජාතිකයින් ඉතා සංවරව හා ගෞරවාන්විතව ආගමික වතාවත්වල නිරත වන බවයි. ඇය ඉදිරියේදී ද ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආධ්‍යාත්මික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version