පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත ශ්රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය සහභාගි වන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය සඳහා ක්රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතය අද (04) ප්රකාශයට පත් කරන ලදී. කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.
මෙම සංචිතය තුළ විශේෂ වෙනස්කම් කිහිපයක් දක්නට ලැබෙන අතර, වසර දෙකකට අධික කාලයකට පසු දසුන් ශානක සහ සහන් ආරච්චිගේ යළිත් එක්දින කණ්ඩායමට කැඳවා ඇත. මීට අමතරව, වසරකට වැඩි කාලයක් අවස්ථාවක් නොලැබුණු අවිශ්ක ප්රනාන්දු ද සංචිතයට ඇතුළත් කර තිබීම කැපී පෙනේ.
ආබාධයකට ලක්ව සිටින පැතුම් නිස්සංක ද සංචිතයට නම් කර ඇති නමුත්, වෛද්ය පරීක්ෂණ මගින් ඔහුගේ ශාරීරික යෝග්යතාව තහවුරු වුවහොත් පමණක් ඔහුට තරගාවලියට එක්වීමට අවස්ථාව හිමිවනු ඇත. පසුගිය එංගලන්ත තරගාවලියේදී අපේක්ෂිත දස්කම් දැක්වීමට නොහැකි වූ චරිත් අසලංක මෙවර සංචිතයෙන් ඉවත් කර තිබේ.
ශ්රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරය ඔක්තෝබර් 09 වැනිදා විස්සයි20 තරගාවලියකින් ආරම්භ වීමට නියමිතය. අනතුරුව ඔක්තෝබර් 18 වැනිදා ආරම්භ වන තුන්කොන් එක්දින තරගාවලිය 27 වැනිදා දක්වා පැවැත්වේ. එක්දින තරගාවලියෙන් අනතුරුව ටෙස්ට් තරග දෙකකට ද ශ්රී ලංකාව සහභාගි වීමට නියමිතව ඇත.
