සංගීත ක්ෂේත්රය තුළ මේ දිනවල දැඩි කතාබහකට ලක්ව ඇති ගීතවල කතෘ භාගය සහ අයිතිවාසිකම් පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් ප්රවීණ ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා අදහස් දක්වා තිබේ. රටේ සමගිය ගැන කතා කරන කලාකරුවන් මෙවැනි කරුණු මත බෙදී කුළල් කා ගැනීම කනගාටුදායක බව ඔහු පෙන්වා දෙයි.
ගීතයක් නිර්මාණය වීමේදී ගායකයා, තනු නිර්මාණකරු සහ සංගීත නිර්මාණකරු යන තිදෙනාම අත්යවශ්ය බවත්, නිවසක් ඉදිකිරීමේදී විවිධ ශිල්පීන්ගේ දායකත්වය අවශ්ය වන්නා සේම ගීතයකටත් එම දායකත්වය අනිවාර්ය බවත් ඔහු අවධාරණය කළේය. එබැවින් ගායකයා බැහැර කරමින් අනෙක් පාර්ශ්වයන් පමණක් අයිතිය ලබා ගැනීම සාධාරණ නොවන බව ඔහුගේ අදහසයි.
තමන්ගේ ගීතවල අයිතිය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව පවසන චාමර වීරසිංහ, තමන්ගේ ගීතවල අයිතිය රන්සිළු ආයතනය සතු බවත් තමන් කිසිවිටෙකත් ඒ වෙනුවෙන් අයිතිවාසිකම් ඉල්ලා නොමැති බවත් සඳහන් කළේය. කතෘ භාගය ඉල්ලා සිටින්නේ නම්, ගායකයාට ද එම ගීතයේ අයිතියෙන් කොටසක් හිමි විය යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙවැනි ගැටුම් හේතුවෙන් ලස්සන ගීත රැසක් විනාශ වී යන බවත්, පැරණි ගීතවල අයිතිකරුවන් හෝ ඔවුන්ගේ දරුවන් එම ගීතවල ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු ඉල්ලා සිටියි. කලාකරුවන් අතර පවතින මෙම මතභේද අවසන් කර, හොඳ නිර්මාණ රැක ගැනීමට සියලු දෙනා එක්විය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
