නිට්ටඹුව පොලිස් වසමේ දංගොල්ලවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වේ. ඉහළ දංගොල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය පුද්ගලයා සහ ඔහුගේ දියණියගේ සැමියා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි. සැකකරු විසින් පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදු කර තිබේ.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇත. මෙම පහරදීම ඊයේ (10) සවස සිදුව තිබේ.

අපරාධය සිදු කිරීමෙන් පසු 26 හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version