ඉන්දීය ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ඥානේෂ් කුමාර් එම ධුරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් කොක්රෝච් ජනතා පක්ෂය (CJP) සහ ශිෂ්‍ය සංවිධාන විසින් නවදිල්ලියේ ජන්තර් මන්තර්හිදී අඛණ්ඩ විරෝධතා මාලාවක් ආරම්භ කර තිබේ. මැතිවරණවලදී ඡන්ද සොරකම් කිරීම සහ පාලක පක්ෂය සමඟ හවුල් වී කටයුතු කිරීම යන චෝදනා මත මෙම විරෝධතා සංවිධානය කර ඇත.

පසුගිය දිනවල පොලිසිය විසින් විරෝධතාකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූවද, ඉන් තමන් පසුබට නොවන බව CJP නායකයෝ අවධාරණය කරති. පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් අත්අඩංගුවේ පසුවීම හේතුවෙන්, විරෝධතාව මෙහෙයවීමේ වගකීම අජින්ක්‍යා ෂින්ඩේ වෙත පවරා ඇත. රජයේ මෙවැනි ක්‍රියාමාර්ගවලින් විරෝධතාකරුවන්ගේ අරගලය නතර කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සෙනසුරාදා පැවති විරෝධතාව අතරතුර හිටපු මහ ඇමතිවරුන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයන් 1,500කට අධික පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්විය. මෙහිදී අත්අඩංගුවට ගත් බොහෝ දෙනකු පසුව මුදාහැරියද, CJP පක්ෂයේ ප්‍රධාන නායකයන් තවමත් රඳවාගෙන සිටී.

මේ අතර, ඉන්දියාව පුරා විරෝධතා ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට ශිෂ්‍ය සම්මේලනය (SFI) සහ විපක්ෂ සන්ධානය කටයුතු කරමින් සිටී. මැතිවරණ ක්‍රියාවලියේ පවතින දෝෂ නිවැරදි කිරීම සහ කඩදාසි ඡන්ද පත්‍රිකා ක්‍රමය නැවත හඳුන්වා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම අරගලය දියත් වේ.

විරෝධතා පාලනය කිරීම සඳහා දිල්ලි පොලිසිය සහ අර්ධ හමුදා බලකායන් 25,000කට අධික පිරිසක් යොදවා ඇති අතර, අන්තර්ජාල සේවා සහ මෙට්‍රෝ දුම්රිය සේවා කිහිපයක් ද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත්, ඉන්දීය රජය පවසන්නේ රට පාලනය විය යුත්තේ වීදිවලින් නොව පාර්ලිමේන්තුව මගින් බවයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version