ශ්රී ලංකාව මුහුණ දී තිබූ දරුණු ආර්ථික අර්බුදයෙන් මිදී යළි ස්ථාවර මාවතකට පිවිසීමට සමත්ව ඇති බව ලෝක බැංකුවේ නවතම වාර්තාවකින් තහවුරු කර තිබේ. 2024 වසරේ සැප්තැම්බර් මාසයේ සිට ක්රියාත්මක වූ ආර්ථික ප්රතිසංස්කරණ සහ මූල්ය කළමනාකරණ ක්රියාවලිය මෙම ප්රගතියට ප්රධාන හේතුව වී ඇත.
ලෝක බැංකු දත්තවලට අනුව, රටේ දළ දේශීය නිෂ්පාදිතය අර්බුදයට පෙර පැවති මට්ටම කරා ළඟා වී ඇති අතර, අඛණ්ඩව කාර්තු 12ක් පුරා ධනාත්මක ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට ශ්රී ලංකාව සමත්ව ඇත. 2026 වසරේ පළමු මාස හය තුළ 4.7%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, වසර අවසන් වන විට එය 4.4%ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විදේශ විනිමය සංචිතය 2026 අගෝස්තු අවසානය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9 දක්වා ඉහළ ගොස් තිබේ. මීට අමතරව, විදේශගත ශ්රමිකයන්ගේ ප්රේෂණ සහ අපනයන ආදායම ද කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. විශේෂයෙන්ම තේ, පොල්, ඇඟලුම් සහ රබර් ආශ්රිත නිෂ්පාදන අපනයනය ආර්ථිකයට විශාල ශක්තියක් වී ඇත.
මෙම ආර්ථික දියුණුවත් සමඟ ශ්රී ලංකාව නැවත වරක් ‘ඉහළ මධ්යම ආදායම් ලබන රටක්’ ලෙස ලෝක බැංකුව විසින් වර්ගීකරණය කර ඇත. කෙසේ වෙතත්, තවමත් පවතින දරිද්රතා මට්ටම සහ රැකියා උත්පාදනය වැනි අභියෝග ජය ගැනීම සඳහා රජය තවදුරටත් අවධානය යොමු කළ යුතු බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
