එළඹෙන 2027 වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු දක්වා කාලය තුළ ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබුණහොත් මෙරට තේ වගාව අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දිය හැකි බව තේ පර්යේෂණායතනය පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ 35 වන මෝසම් කතිකාවතේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

එල්-නිනෝ බලපෑම මත ඇතිවිය හැකි වියළි කාලගුණික තත්ත්වය හමුවේ තේ වගාව ආරක්ෂා කර ගැනීම සඳහා කුඩා වැව් සහ අමුණු ආශ්‍රිත ජල කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය පවතින බව එම ආයතනය පෙන්වා දෙයි. විශේෂයෙන්ම ජනවාරි 15 වැනිදාට පෙර වැසි අවසන් වුවහොත් පෙබරවාරි මාසයේදී තේ වගාවට බරපතළ හානි සිදුවීමේ අවදානමක් පවතී.

ඉතිහාසයේ 1983 සහ 1992 වසරවලදී ඇතිවූ එල්-නිනෝ තත්ත්වයන් හේතුවෙන් තේ නිෂ්පාදනයට දැඩි බලපෑම් එල්ල විය. 1992 වසරේදී පැවති නියඟය නිසා තේ නිෂ්පාදනය සියයට 25කින් පමණ පහළ ගිය බව ද වාර්තා වේ.

මේ වන විටත් වියළි කාලගුණයක් පැවතියහොත් අනුගමනය කළ යුතු පියවර පිළිබඳව වගාකරුවන් දැනුවත් කරමින් උපදෙස් පත්‍රිකා නිකුත් කර ඇත. බදුල්ල වැනි ප්‍රදේශවල මෑතකදී ඇතිවූ නියඟය හේතුවෙන් තේ වගාවට සිදුවූ හානි සැලකිල්ලට ගෙන, අමුණු සහ කුඩා වැව් ආශ්‍රිතව වගාවන් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස තේ පර්යේෂණායතනය වැඩිදුරටත් අවධාරණය කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version