විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ, විදෙස්ගතව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 67 දෙනෙකු මෙරටට රැගෙන ඒමට පියවර ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සඳහන් කරයි. බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සමාලෝචන රැස්වීමට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය වසර තුළ පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 1375කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. රට තුළ නීතිය හා සාමය තහවුරු කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා රජය දැඩි පියවර ගනිමින් සිටින බව ඔහු අවධාරණය කළේය.

බේරුවල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් සිදුකළ සමාලෝචනයේදී අදාළ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා සහ උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

මේ අතර, මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික වැඩසටහන සම්බන්ධයෙන් මහා සංඝරත්නය ද සිය ප්‍රසාදය පළ කර තිබේ. ‘රටම එකට’ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය විය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version