ප්රංශය පුරා පැවති දැවැන්ත විරෝධතා මාලාවක් අතරතුර හටගත් ප්රචණ්ඩකාරී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 1,200කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය පියවර ගෙන ඇත.
පාසල් පද්ධතියේ පවතින අඩුපාඩු සහ අධික ජීවන වියදමට එරෙහිව මෙම විරෝධතා සංවිධාන කර තිබුණි. පැරිස් නුවර ඇතුළු ප්රධාන නගර රැසක රාත්රී කාලය දක්වාම විරෝධතාකරුවන් සහ කැරලි මර්දන පොලිසිය අතර ප්රබල ගැටුම් වාර්තා විය.
පොලිසිය විසින් විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල කර ඇත. ගැටුම් අතරතුර ඇති වූ ප්රචණ්ඩ ක්රියා හේතුවෙන් පොලිස් නිලධාරීන් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
විරෝධතාකරුවන් විසින් ගොඩනැගිලි, වෙළඳසැල් සහ වාහන ගිනි තබා විනාශ කර ඇති අතර, ලිමෝජස් නගරයේ නගර සභා ගොඩනැගිල්ලකට ගිනි තැබීමෙන් එහි වහලයේ කොටසක් කඩා වැටී ඇත.
එළඹෙන ජනාධිපතිවරණයට පෙර රට තුළ පවතින දේශපාලන නොසන්සුන්තාවය මධ්යයේ මෙම සිදුවීම් වාර්තා වී තිබේ. පොදු දේපළ විනාශ කිරීම් සහ ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් දැඩි නීතිය ක්රියාත්මක කරන බව ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් අවධාරණය කර ඇත.
