දරුවන්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණය විසින් වැදගත් නීතිමය නිරීක්ෂණයක් සිදුකර තිබේ. ඒ අනුව, වයස් භේදයකින් තොරව සෑම දරුවෙකුටම අන්තර්ජාලයට පිවිසීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගත යුතු බව අධිකරණය ප්රකාශ කළේය.
ඉන්දීය ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 21 වැනි සහ 19(1)(a) වගන්ති උපුටා දක්වමින් විනිසුරුවරුන් පෙන්වා දුන්නේ, දරුවන්ගේ අන්තර්ජාල භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීම සාධාරණ නොවන බවයි. සමාජ මාධ්ය හරහා සිදුවන ළමා අපයෝජන සහ සූරාකෑම් පිළිබඳ නඩුවක් විභාග කරමින් විනිසුරු ජේ. බී. පර්ඩිවාලා සහ කේ. වී. චන්ද්රන් මෙම අදහස් පළ කළහ.
අධිකරණය අවධාරණය කළේ අන්තර්ජාලය තහනම් කිරීම වෙනුවට දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වඩාත් දැඩි පියවර ගත යුතු බවයි. විශේෂයෙන්ම දෙමාපියන්ගේ පාලනය ශක්තිමත් කිරීම සහ සමාජ මාධ්ය වේදිකාවල ළමා ආරක්ෂණ පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්යතාවය මෙහිදී මතු කෙරිණි.
ළමා අපයෝජන අන්තර්ගතයන් හඳුනාගෙන ඒවා ඉවත් කිරීම සඳහා ජාතික දත්ත පද්ධතියක් සකස් කරන ලෙස ඉන්දීය මධ්යම රජයට අධිකරණය නියෝග කර ඇත. රූප හඳුනාගැනීමේ තාක්ෂණය සහ වෙනත් ක්රමවේද භාවිතා කරමින් අන්තර්ජාලය දරුවන්ට ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමේ වගකීම බලධාරීන් සතු බව අධිකරණය වැඩිදුරටත් අවධාරණය කළේය.
