වෙළඳ නෞකාවල ආරක්ෂක කටයුතු සඳහා යොදවන විදේශීය පෞද්ගලික සමුද්රීය ආරක්ෂක සමාගම් වෙත ශ්රී ලංකා නාවික හමුදාව සපයන පහසුකම් නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක නියෝජ්ය අමාත්ය මේජර් ජෙනරල් (විශ්රාමික) අරුණ ජයසේකර මහතා පසුගියදා (20) ගාල්ල පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්ණයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු මහතා ද එක්ව සිටි අතර, මෙම අවි ගබඩා සංකීර්ණය මඟින් විදේශීය ආරක්ෂක සමාගම්වල ආයුධ සහ උපකරණ ගබඩා කිරීමේ පහසුකම් සපයනු ලබයි.
ශ්රී ලංකා නාවික හමුදාව විසින් විදේශීය පෞද්ගලික සමුද්රීය ආරක්ෂක සමාගම් සමඟ ඇති කරගත් එකඟතා මත, නෞකා මත ආරක්ෂක කටයුතු (OBST) සහන මෙහෙයුම් ස්වාධීනව ක්රියාත්මක කරනු ලබයි. ආරක්ෂක අමාත්යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්රියාත්මක වන මෙම මෙහෙයුම් හරහා පසුගිය වසර තුළ ඇමරිකානු ඩොලර් මිලියන 3.32 කට අධික විදේශ විනිමය ප්රමාණයක් රටට හිමිකම් දී තිබේ.
වර්තමානය වන විට දේශීය නියෝජිතයන් 10 දෙනෙකු හරහා විදේශීය සමුද්රීය ආරක්ෂක සමාගම් 28 ක් නාවික හමුදාවේ මෙම සේවාවන් ලබා ගනිමින් සිටී.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී නියෝජ්ය අමාත්යවරයා නාවික හමුදාවේ දායකත්වය අගය කළ අතර, මෙහෙයුම් අඛණ්ඩව කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අදාළ නිලධාරීන්ට අවශ්ය උපදෙස් ද ලබා දුන්නේය.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති නීති උපදේශක ජේ. එම්. විජේබණ්ඩාර, ආරක්ෂක අමාත්යාංශයේ අතිරේක ලේකම් ඉන්දිකා විජේගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු ආරක්ෂක අමාත්යාංශයේ සහ නාවික හමුදාවේ ජ්යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.
