රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතෙහි සැබෑ අරමුණ සංවිධානාත්මක ජනතා ක්රියාකාරකම් මැඬලීම බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වා දෙයි. මෙම පනත හඳුන්වාදීම පාලක පන්තිය විසින් ජනතාවට එරෙහිව සිදුකරන සංවිධානාත්මක අපරාධයක් ලෙස එම පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කොළඹදී පැවති මාධ්ය හමුවකදී අවධාරණය කළේය.
මෙම පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති මගින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට දැඩි බලපෑමක් එල්ල වන බව ජයගොඩ මහතා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ඇඳුම් විලාසිතා, පච්ච කොටා ගැනීම හෝ භාවිතා කරන භාෂා රටා පදනම් කරගෙන පුද්ගලයන් අපරාධ කල්ලි සාමාජිකයන් ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට ඉඩ ලැබීම බරපතල තත්ත්වයක් බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම, මෙම පනත යටතේ සැකකරුවෙකු පැය 72ක් දක්වා මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් නොකර රඳවා තබා ගැනීමටත්, පසුව ඇප ලබාදීමේ බලය අධිකරණයෙන් ඉවත් කරමින් මාස ගණනාවක් රඳවා තබා ගැනීමටත් ප්රතිපාදන පවතින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මෙය භාෂණයේ නිදහසට සහ ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එල්ල කරන ප්රබල තර්ජනයක් බව එම පක්ෂය අවධාරණය කරයි.
ආණ්ඩුව මෙවැනි මර්දනකාරී නීති ගෙන ඒම තුළින් සමාජය තුළ භීෂණයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවත්, මෙය නීතියේ ආධිපත්යයට පටහැනි ක්රියාවක් බවත් මාධ්ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා ප්රකාශ කළේය.
