“රටම එකට” ජාතික මෙහෙයුම ක්රියාත්මක කළ කාලසීමාව තුළ මත්ද්රව්ය ජාවාරම්කරුවන් සහ සැකකරුවන් 322,218 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇති බව කැබිනට් ප්රකාශක, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
පසුගිය වසරේ ඔක්තෝබර් 30 වනදා සිට මේ වසරේ ඔක්තෝබර් 18 වනදා දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදු කර ඇත. එහිදී හෙරොයින් කිලෝග්රෑම් 2,485කට අධික ප්රමාණයක් සහ අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 3,032කට වැඩි ප්රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අමතරව ගංජා කිලෝග්රෑම් 11,146ක්, කොකේන් කිලෝග්රෑම් 297ක් සහ කුෂ් මත්ද්රව්ය කිලෝග්රෑම් 1,723ක් ද වැටලීම්වලදී සොයාගෙන ඇත. මෙහෙයුම් කාලය තුළ මත්පෙති මිලියන 4.5ක් සහ ගංජා පැළ මිලියන 16.7ක් ද විනාශ කිරීමට පියවර ගෙන තිබේ.
මෙම මෙහෙයුම්වලට අදාළව සැකකරුවන් 3,749 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර, සැකකරුවන් 2,580ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇත. නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් පුද්ගලයින් 449 දෙනෙකුට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇති බව ද අමාත්යවරයා සඳහන් කළේය.
මේ අතර, ග්රෑම් 100ක් දක්වා වූ මත්ද්රව්ය සම්බන්ධ නඩු මහාධිකරණය හමුවේ විභාග කිරීමට හැකි වන පරිදි අදාළ පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවත්, එය ඔක්තෝබර් 22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.
