ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා සූදානම පිළිබඳ විශ්වීය සමාලෝචන සැසිවාරය (UHPR) ඊයේ (22) කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී ආරම්භ විය.

මෙම සැසිවාරය දෙදිනක් පුරා පැවැත්වෙන අතර, එහි සමාරම්භක අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, අර්බුදයක් ඇති වූ පසු ප්‍රතිචාර දැක්වීමට පමණක් සීමා නොවී, ඊට පෙර සිටම සූදානම් වීම සහ ජාතික හැකියාවන් ගොඩනඟා ගැනීම වර්තමානයේ පවතින කාලීන අවශ්‍යතාවක් බවයි.

2025 වසරේ පැවැති 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේදී ලද ඉල්ලීමකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. කොවිඩ්-19 වසංගතයෙන් ලද අත්දැකීම් ද පදනම් කරගනිමින්, අනාගත මහජන සෞඛ්‍ය අභියෝගයන්ට මුහුණ දීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය සහ සමාජය ඒකාබද්ධ කරමින් සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණයි.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්බාජිරාඕ පාණ්ඩව් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version