අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) පස්වරුවේ නිරීක්ෂණය කළේය.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජයේ මූල්‍ය දායකත්වයෙන් රුපියල් බිලියන 7.7ක මුදලක් වෙන් කර ඇති අතර, බැතිමතුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම, මාර්ග ප්‍රතිසංස්කරණය සහ කසළ කළමනාකරණය මෙහි ප්‍රධාන අරමුණු වේ. ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද ව්‍යුහාත්මක සැලැස්මට අනුව මෙම කටයුතු සිදු කෙරේ.

ජනාධිපතිවරයා විසින් ඓතිහාසික පොකුණු ආශ්‍රිත මාර්ග සංවර්ධන කටයුතු, බටහිර ආරාම විහාර සංකීර්ණයේ පුරාවිද්‍යාත්මක කැණීම් සහ රුවන්වැලි සෑය අසල යෝජිත රථගාල සඳහා වෙන් කර ඇති භූමිය පරීක්ෂාවට ලක් කළේය. සංවර්ධන කටයුතු සිදු කිරීමේදී පූජා භූමියේ පෞරාණිකත්වය කිසිසේත් අගතියට පත් නොවිය යුතු බව එතුමා අවධාරණය කළේය.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පැන නගින ගැටලු කඩිනමින් විසඳා ගනිමින් සංවර්ධන කටයුතු වේගවත් කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මෙහිදී රුවන්වැලි චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳපුදා ගත් ජනාධිපතිවරයා, අටමස්ථානාධිපති සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිපති අතිපූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් ආශිර්වාද ලබා ගත්තේය.

මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ අදාළ ආයතනවල නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version