සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 130ක් වටිනා නවීන උපකරණ තොගයක් එම අංශය වෙත නිල වශයෙන් භාර දෙන ලදී. ලෝක බැංකු ව්‍යාපෘති ප්‍රතිපාදන යටතේ මිලදී ගත් මෙම තොගයට රීච් ට්‍රක් රථ 11ක් සහ ෆෝක්ලිෆ්ට් රථ 4ක් ඇතුළත් වේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උපකරණ භාරදීම සිදු විය. වසර 25කට පසුව මෙවැනි විශාල උපකරණ තොගයක් එකවර වෛද්‍ය සැපයුම් අංශය වෙත ලැබීම විශේෂත්වයකි. මීට පෙර එම අංශය සීමිත පැරණි රථ සහ කුලියට ගත් රථ භාවිතයෙන් සිය මෙහෙයුම් පවත්වාගෙන ගියේය.

නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම රථ මගින් ඖෂධ සහ වෛද්‍ය උපකරණ වඩාත් සුරක්ෂිතව සහ වේගවත්ව ගබඩා කිරීමේ සහ බෙදාහැරීමේ කටයුතු සිදු කළ හැකිය. මෙම නවීකරණ වැඩපිළිවෙළ හරහා රාජ්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සැපයුම් දාම කළමනාකරණය වඩාත් විධිමත් වනු ඇතැයි අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

මේ අතර, ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ ගාල්ල, කොළඹ සහ අනුරාධපුර යන ප්‍රදේශවල නව ඖෂධ ගබඩා සංකීර්ණ තුනක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇත. 2027 වසරේදී ඉදිකිරීම් ආරම්භ වීමට නියමිත මෙම ව්‍යාපෘතිය මගින් අතිරේක ගබඩා ධාරිතාව ඝන මීටර 20,000ත් 30,000ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version