ශ්රී ලංකාවේ උතුරු හා උතුරු මැද කලාපවල අලි-මිනිස් ගැටුම්, ගංවතුර සහ දුම්රිය අනතුරු වැනි ආපදාවලට ලක්වන අලි පැටවුන්ට කඩිනම් ප්රතිකාර ලබාදීමේ අරමුණින් පොළොන්නරුව, කලාහගල ප්රදේශයේ නව ඇත්අතුරු සෙවණක් ඉදිකිරීමට තීරණය කර ඇත.
මෙම ව්යාපෘතිය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හෙක්ටයාර 15ක භූමි ප්රමාණයක් වෙන් කිරීමට එකඟතාව පළවී ඇති බව පොළොන්නරුව දිස්ත්රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා සඳහන් කළේය. වනජීවී පශු වෛද්යවරුන් සහ විශේෂඥ කමිටුවක නිර්දේශ මත මෙම ස්ථානය තෝරාගෙන ඇත.
දැනට ශ්රී ලංකාවේ පවතින එකම ඇත්අතුරු සෙවණ උඩවලව ප්රදේශයේ පිහිටා තිබීම හේතුවෙන්, පොළොන්නරුවේ සිට අලි පැටවෙකු ප්රවාහනය කිරීමට පැය නවයක් පමණ ගතවීම විශාල ගැටලුවක්ව පැවතිණි. නව මධ්යස්ථානය ස්ථාපිත කිරීමත් සමඟ එම කාලය පැය එකක් හෝ දෙකක් දක්වා අඩු කර ගැනීමට හැකි වනු ඇත.
මෙම පියවරේ විද්යාත්මක වැදගත්කම පැහැදිලි කරන අලි පර්යේෂක ආචාර්ය සුමිත් පිළපිටිය මහතා පෙන්වා දෙන්නේ, උතුරු හා උතුරු මැද කලාපවලින් හමුවන අලි පැටවුන් එම කලාපවලම රක්ෂිතවලට මුදාහැරීම මගින් අලි ගහනයේ උපගහන ආරක්ෂා කර ගැනීමට හැකි වන බවයි.
නව ඇත්අතුරු සෙවණ මගින් සංචාරක ආකර්ෂණය ඉහළ යාමටත්, ප්රදේශවාසීන්ට රැකියා අවස්ථා උදාවීමටත් අපේක්ෂා කෙරේ.
