ශ්රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ආගමික පූජෝත්සවය පසුගිය ඔක්තෝබර් 22 සහ 23 යන දිනයන්හිදී මහනුවර ශ්රී දළදා මාළිගාව කේන්ද්ර කරගනිමින් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ක්රීෂාන්ති එදිරිසිංහ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ගුවන් හමුදාපතිවරයා ප්රමුඛ පිරිස මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමීන් වහන්සේලා බැහැදැක ආශීර්වාද ලබාගත් අතර, අනතුරුව ශ්රී දළදා මාළිගාවේදී විශේෂ ගිලන්පස පූජාවක් සිදු කළහ. දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා සමඟ ද ගුවන් හමුදාපතිවරයා සුහද සාකච්ඡාවක නිරත විය.
සංවත්සරයට සමගාමීව භික්ෂූන් වහන්සේලා 75 නමක් උදෙසා අෂ්ටපරිෂ්කාර සහිත සාංඝික දානමය පින්කමක් ද පැවැත්විණි. මෙහිදී රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් පින් අනුමෝදනා සිදු කළ අතර, සක්රිය සේවයේ නියුතු ගුවන් හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ආශීර්වාද එක් කිරීම ද සිදු කෙරිණි.
එමෙන්ම, ශ්රී දළදා මාළිගාවේ ආරක්ෂාව වෙනුවෙන් ගුවන් හමුදාව විසින් ස්ථාපිත කර ඇති ගිනි නිවාරණ ඒකකයේ උපකරණ සහ රථවාහන ද ගුවන් හමුදාපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා ජ්යෙෂ්ඨ නිලධාරීන් සහ රණවිරු පවුල්වල සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
