ශ්රී ලංකාව තුළ සිටින සුනඛයින්ගේ දළ සංඛ්යාව ලක්ෂ 32ක් පමණ වන බව නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. රටේ ජනගහනය සමඟ සැසඳීමේදී සෑම පුද්ගලයින් හත් දෙනෙකුටම එක් සුනඛයෙකු බැගින් සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය.
ජලභීතිකාව රෝගය ව්යාප්ත වීමේ ප්රධාන සාධකය සුනඛයින් වන අතර, එම රෝගීන්ගෙන් 95%ක්ම වාර්තා වන්නේ සුනඛයින් හරහා බව අමාත්යවරයා සඳහන් කළේය. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය මේ වන විට විශේෂ වැඩපිළිවෙලක් ක්රියාත්මක කරමින් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර, සුනඛයින් ලියාපදිංචි කිරීම සහ ජලභීතිකාව තුරන් කිරීම අරමුණු කරගනිමින් නව පනතක් හඳුන්වා දීමට කටයුතු යොදා ඇත. අමාත්ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේ, සුනඛයින් එන්නත් කිරීම, ගහනය පාලනය කිරීම සහ වාණිජ අභිජනනය නියාමනය කිරීම මෙම පනතේ මූලික අරමුණු බවයි.
නව පනත යටතේ බලු බද්දක් අය කිරීමට සූදානම් වන බවට පැතිර යන මතයන් අමාත්යවරයා තරයේ ප්රතික්ෂේප කළේය. 1848 වසරේ පැවති බදු ක්රමය මෙන් නොව, මෙය ජාතික සෞඛ්ය අරමුණු වෙනුවෙන් පමණක් ක්රියාත්මක වන වැඩසටහනක් බව ඔහු අවධාරණය කළේය.
