මාතර, තලල්ල නාඔටුන්න වෙරළ තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 561කට අධික අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 11.8කට අධික බව බලධාරීන් පවසයි.

මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ‘පරවි සුදා’ නමැති පුද්ගලයාට අයත් බවත්, එය ප්‍රවාහනය කිරීමේ වගකීම ‘දෙහිබාලේ මල්ලි’ නමැත්තා විසින් භාරගෙන තිබූ බවත්ය. සැකකරුවන් මෙම මත්ද්‍රව්‍ය තොගය ඈත මුහුදේදී ඉරාන බහුදින යාත්‍රාවකින් ලබාගෙන පසුව කුඩා ඩිංගි යාත්‍රාවකින් ගොඩබිමට රැගෙන ඒමට උත්සාහ කර ඇත.

අනපේක්ෂිත ලෙස ඩිංගි යාත්‍රාව අනතුරට ලක්වීමත් සමඟ එහි සිටි පිරිස මත්ද්‍රව්‍ය මලු වෙරළට ගොඩබෑමට උත්සාහ දරා තිබේ. එම අවස්ථාවේ වෙරළාරක්ෂක බුද්ධි නිලධාරීන් එම ස්ථානයට ළඟා වීමත් සමඟ සැකකරුවන් මත්ද්‍රව්‍ය මලු දමා පලා ගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී, සොයාගත් මත්ද්‍රව්‍ය අතර අයිස් කිලෝග්‍රෑම් 239ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 321ක් අඩංගු බව තහවුරු විය. මෙම ජාවාරම පිටුපස සිටින ප්‍රධාන ජාලය අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව පුළුල් මෙහෙයුම් දියත් කර තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version