භූතානයේ වයඹදිග ප්රදේශයේ පිහිටි ශින්ටාෆු (Shintaphu) නම් ග්ලැසියර විල හදිසියේ පුපුරා යෑමෙන් හටගත් ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ඉන්දියාවේ දේශසීමා ආශ්රිත ප්රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
විදෙස් වාර්තා සඳහන් කරන පරිදි, මෙම සිදුවීම බ්රහස්පතින්දා සවස වාර්තා වී ඇති අතර, මෝ චූ (Mo Chhu) ගඟ ආශ්රිතව පිහිටි ගාසා ත්සාචු (Gasa Tshachu) ප්රදේශයේ යටිතල පහසුකම් රැසක් ගංවතුරට හසුව විනාශ වී තිබේ. කෙසේ වෙතත්, ආපදාවට පෙර එම ප්රදේශයේ සිටි ජනතාව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබූ බැවින් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.
භූතාන රජය විසින් ලබාදුන් තොරතුරු මත, ඉන්දියාවේ ඇසෑම් ප්රාන්තයේ ධුබ්රි දිස්ත්රික්කය සහ බටහිර බෙංගාලයේ ඩාර්ජිලිං, අලිපූර්දුවාර් සහ ජල්පයිගුරි යන දිස්ත්රික්ක අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. එම ප්රදේශවල ජනතාවට සහ සන්කෝෂ් ගඟ ආශ්රිතව ජීවත් වන පිරිස් වෙත දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දී තිබේ.
මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් පුනඛා ප්රදේශයේ ස්ථාපිත කර තිබූ සූර්ය බලශක්ති වාරිමාර්ග පද්ධතියකට හානි සිදුව ඇති අතර, ප්රධාන මාර්ග කිහිපයක් ද අවහිර වී ඇත. ග්ලැසියර විල්වල ජලය රඳවාගෙන සිටින ස්වාභාවික බැමි බිඳී යෑමෙන් මෙවැනි හදිසි ජල ගැලීම් ඇතිවන බව භූ විද්යාඥයෝ පෙන්වා දෙති.
