චීනයේ බීජිං නුවරදී පැවැත්වෙන 7 වැනි ලෝක මාධ්‍ය සමුළුවේදී, කෘත්‍රිම බුද්ධිය (AI) හමුවේ ගෝලීය මාධ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන ශීඝ්‍ර පරිවර්තනයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමුව තිබේ. නොවැම්බර් 5 වැනිදා ආරම්භ වූ මෙම සමුළුව 9 වැනිදා දක්වා පැවැත්වෙන අතර, රටවල් 112ක නියෝජිතයන් 500කට අධික පිරිසක් ඊට එක්ව සිටිති.

“එකඟතාවයේ සිට ක්‍රියාකාරීත්වය දක්වා” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුණේ, කෘත්‍රිම බුද්ධිය භාවිතයේදී මාධ්‍ය ආයතනවල විශ්වසනීයත්වය ආරක්ෂා කරගන්නා ආකාරය පිළිබඳවයි. ප්‍රවෘත්ති නිෂ්පාදනය, බෙදාහැරීම සහ පරිභෝජනය යන සමස්ත ක්‍රියාවලියම AI තාක්ෂණය හරහා වෙනස් වෙමින් පවතින බව මාධ්‍ය නායකයෝ පෙන්වා දුන්හ.

කුඩා මාධ්‍ය ආයතනවලට පවා භාෂා පරිවර්තනය, වීඩියෝ සංස්කරණය සහ උපසිරැසි සැකසීම වැනි කාර්යයන් සඳහා AI තාක්ෂණය උපයෝගී කරගනිමින් පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟාවීමේ අවස්ථාව උදාවී ඇත. කෙසේ වෙතත්, වැරදි තොරතුරු ප්‍රචාරය වීම, පෞද්ගලිකත්වය උල්ලංඝනය වීම සහ ඇල්ගොරිදම්වල පක්ෂග්‍රාහීත්වය වැනි අභියෝග රැසක් ද මේ සමඟ මතුව තිබේ.

විශේෂයෙන්ම AI මගින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් සත්‍යාපනය නොකිරීම මාධ්‍ය විශ්වසනීයත්වයට විශාල තර්ජනයක් බව නියෝජිතයෝ අවධාරණය කළහ. එබැවින්, මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සහ මානව සත්‍යාපනය ආරක්ෂා කරගනිමින් තාක්ෂණය භාවිත කිරීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දෙන ලදී.

ගෝලීය දකුණේ රටවල් ඇතුළු කුඩා ජාතීන්ට ද තාක්ෂණික ප්‍රතිපත්ති සම්පාදනයේදී සක්‍රීය දායකත්වයක් ලබාදීමට අවස්ථාව සැලසීම අත්‍යවශ්‍ය බව ද සමුළුවේදී වැඩිදුරටත් සාකච්ඡා විය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version