මෙට්‍රෝ බස් රථ සේවාව ජංගම දුරකථන යෙදවුමේ දැක්වෙන වේලාවටම නිවැරදිව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සංවේදී සටහනක් තබා ඇත.

තමන් මේ සතියේ බස් නැවතුම්පොළට ගිය අවස්ථාවේදී, යෙදවුමේ සඳහන් වූ වේලාවටම බස් රථය පැමිණි බවත්, එම අත්දැකීමෙන් තමන් දැඩි ලෙස සතුටට පත් වූ බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. එම සතුට නිසා සිය දෑසට කඳුළු පවා උනන ලද බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

තමන් ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයින් පොදු ජනතාව නියෝජනය කරන බවත්, ඔවුන්ට තිබුණේ රට වෙනුවෙන් වූ සරල සිහින පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. පොදු ප්‍රවාහනය යනු රටක ජීවනාලිය බව පවසන ඔහු, මෙතෙක් පාලකයින්ට ඉටු කරගත නොහැකි වූ පොදු ජනතාවගේ සිහින යථාර්ථයක් කිරීමට කැපවන බව අවධාරණය කරයි.

තම දරුවන්ට මෙන්ම රටේ සියලුම දරුවන්ට යහපත් රටක් ගොඩනගා දීම තම අරමුණ බවද අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සිය සටහනින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version