මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගීන් වෙනුවෙන් වසර ගණනාවක් පුරා පරිත්‍යාගශීලීන් විසින් සිදුකරනු ලැබූ තැඹිලි දානය ඇතුළු විවිධ දානමය පුණ්‍ය කටයුතු සහ පරිත්‍යාග වැඩසටහන් හදිසියේ නතර කිරීමට පියවර ගෙන ඇත. මෙම තීරණය සම්බන්ධයෙන් පරිත්‍යාගශීලීන් පිරිසක් සිය අප්‍රසාදය පළ කරති.
පරිත්‍යාගශීලීන් පවසන්නේ, මීට පෙර රෝහලේ නොමැති ඖෂධ වර්ග, පාසල් උපකරණ සහ ඇඳුම් පැළඳුම් පවා තමන් විසින් පරිත්‍යාග කළ බවයි. කෙසේ වෙතත්, මේ වන විට එම සියලු කටයුතු නතර කර ඒ වෙනුවට මුදල් පරිත්‍යාග කරන ලෙස රෝහලෙන් දැනුම් දී ඇති බව ඔවුහු චෝදනා කරති.
මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහරගම අපේක්ෂා රෝහලේ වැඩබලන අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික මහතා සඳහන් කළේ, විශේෂඥ වෛද්‍යවරුන් 12 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක එකඟතාව මත මෙම ප්‍රතිපත්තිමය තීරණය ගත් බවයි.
රෝහල් අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ, පිටස්තර පුද්ගලයින් වාට්ටු තුළට ඇතුළු වීමෙන් රෝගීන්ට විෂබීජ ආසාදනය වීමේ අවදානමක් පවතින බවයි. එසේම, ඇතැම් පරිත්‍යාගශීලීන්ගේ හැසිරීම් රටාවන් රෝගීන්ගේ මානසිකත්වයට බලපෑම් ඇති කළ හැකි බැවින්, රෝගීන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මකභාවය වෙනුවෙන් මෙම පියවර ගත් බව ඔහු අවධාරණය කළේය.
කෙසේ වෙතත්, රෝගීන්ට අවශ්‍ය තැඹිලි වැනි දෑ රෝහල් පරිශ්‍රයෙන් පිටතදී ලබා දීමට හෝ වෙනත් ක්‍රමවේදයකින් ලබා දීමට බාධාවක් නොමැති බවද රෝහල් බලධාරීන් පවසයි.
