පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් වසර දෙකකට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි මොහොමඩ් ෆසල් නමැති සැකකරු, මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එම සිදුවීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් අනාවරණය කර ඇත.
ඔහු පවසන පරිදි, සහරාන් හෂීම් ඇතුළු පිරිසගේ මූලික සැලසුම වී තිබුණේ කිතුනු දේවස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම නොව, පොසොන් හෝ වෙනත් පෝය දිනක පැවැත්වෙන බෞද්ධ පෙරහරකට ප්‍රහාරයක් එල්ල කිරීමයි. බෞද්ධ ජනතාව ඉලක්ක කර ගනිමින් රට තුළ විශාල කලබලයක් ඇති කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබූ බව ඔහු සඳහන් කරයි.
ප්‍රහාරය සඳහා පුපුරන ද්‍රව්‍ය සකස් කර ගැනීමේදී ඇති වූ ප්‍රමාදයන් හේතුවෙන් එම සැලසුම වෙනස් කිරීමට සිදුවූ බවත්, අවසානයේ පාස්කු ඉරිදා දිනය ප්‍රහාරය සඳහා තෝරා ගැනීමට සිදු වූ බවත් ෆසල් වැඩිදුරටත් පවසයි. පුපුරන ද්‍රව්‍ය වේලා ගැනීම සඳහා ඔවුන් වොෂින් මැෂින් එකක් පවා භාවිත කර ඇති බව ඔහු හෙළි කරයි.
මෙම ප්‍රහාරය පිටුපස විදෙස් බලපෑම් පැවති බවට චෝදනා කරන ඔහු, සහරාන් හෂීම් යනු කිසිදු සැලසුමකින් තොරව වෛරයෙන් කටයුතු කළ අයෙකු බව ද පවසයි. දැනට නඩු පවරා ඇති සැකකරුවන්ගෙන් වැඩි පිරිසක් නිර්දෝෂී බව තමන් විශ්වාස කරන බවත්, ඔවුන් වෙනුවෙන් තමන් පෞද්ගලිකව මුදල් වියදම් කරන බවත් ඔහු ප්‍රකාශ කරයි.
