නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදිවූ ලවණ බාධකය නිසා ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් වගා හානිවලට ලක්වූ තිහගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශයේ ගොවීන් 781 දෙනෙකු සඳහා වන්දි මුදල් ලබා දීම පසුගියදා මිදෙල්ලවල පුරාණ මහ විහාරයේදී සිදු කෙරිණි.
2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා අඛණ්ඩව කන්න හතක් පුරා වගාවන් විනාශ වීම හේතුවෙන් පීඩාවට පත් වූ ගොවීන් වෙනුවෙන් රුපියල් මිලියන 1200ක වන්දි මුදලක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබුණි.
මෙම අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතා සඳහන් කළේ, ලවණ බාධකයේ පවතින දෝෂ නිවැරදි කිරීම සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් වෙන් කර ඇති බවයි. ඉදිරි වසර 50ක කාලයක් සඳහා මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය හරහා විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කරමින් පවතින බවද ඔහු පැවසීය.
එමෙන්ම, මාතර දිස්ත්‍රික්කයේ උද්ගතව ඇති ඩෙංගු වසංගත තත්ත්වය පිළිබඳව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා දැඩි අවධානයක් යොමු කළේය. පසුගිය දින කිහිපය තුළ සිදු කළ පරීක්ෂණවලදී මදුරු කීටයන් සහිත ස්ථාන විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර, ජනතාවගේ සහයෝගය තවදුරටත් අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
මෙම උත්සවය සඳහා දේශපාලන නියෝජිතයින්, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
