මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද කෙටි වීඩියෝ නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගයීමේ වැඩසටහන පසුගියදා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරී ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව තුළ පාරිසරික සංවිඥානය වර්ධනය කිරීම සහ පරිසර සංරක්ෂණ කටයුතු සඳහා පුරවැසි දායකත්වය ලබා ගැනීම මෙම තරගාවලියේ මූලික අරමුණ විය. ‘නිසි අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් දේශගුණ විපර්යාස අවම කිරීමට දායක වෙමු’ යන තේමාව යටතේ මෙම තරගාවලිය ක්‍රියාත්මක කෙරිණි.
අවිධිමත් ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම සහ දහනය කිරීම හේතුවෙන් වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු දේශගුණික විපර්යාසවලට සෘජුවම බලපායි. නවීන තාක්ෂණය භාවිත කරමින් මෙම ගැටලුව පිළිබඳ සමාජ දැනුවත්භාවය ඉහළ නැංවීම මෙම වැඩසටහනේ අරමුණ බව බලධාරීහු පෙන්වා දෙති.
මෙම අවස්ථාවට සමගාමීව තරුණ නිර්මාණකරුවන්ගේ සන්නිවේදන හා නිර්මාණාත්මක කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් විශේෂ පුහුණු වැඩසටහනක් ද සංවිධානය කර තිබුණි.
උත්සව අවස්ථාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා, අධ්‍යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ ජයග්‍රාහී සිසුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
