යාපනය ශික්ෂණ රෝහලේ ස්ථාපිත කරන ලද නවීන AI තාක්ෂණයෙන් සමන්විත අති නවීන කැතීටකරණ රසායනාගාර ඒකකය (Cath Lab) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) ජනතා අයිතියට පත් කෙරිණි. රුපියල් මිලියන 300ක වියදමින් මෙම ඒකකය ස්ථාපිත කර ඇත්තේ උතුරු පළාතේ ජනතාවට වඩාත් කාර්යක්ෂම හෘද රෝග ප්‍රතිකාර සේවාවක් ලබාදීමේ අරමුණෙනි.

මෙම නව පහසුකම හරහා යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල වෙසෙන ලක්ෂ 11කට අධික ජනතාවට තම පළාත තුළම හෘද රෝග සම්බන්ධ විශේෂිත ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව උදාවේ. මීට අමතරව අනුරාධපුර, බදුල්ල හා ත්‍රිකුණාමලය වැනි අවට දිස්ත්‍රික්කවල ජනතාවට ද මෙමගින් ප්‍රතිකාර සේවා සැපයීමට නියමිතය.

කිරීටක ධමනි ඇන්ජියෝග්‍රැෆි පරීක්ෂණ, ස්ටෙන්ට් තැන්පත් කිරීම සහ හෘද කපාට ආශ්‍රිත මැදිහත්වීම් ඇතුළු ජීවිතාරක්ෂක සේවා රැසක් මෙම කැත් රසායනාගාරය හරහා සිදු කළ හැකිය. මෙවැනි තාක්ෂණික පහසුකම් මගින් විවෘත හෘද ශල්‍යකර්මවල අවශ්‍යතාව අවම කරමින් රෝගීන්ට වේගවත් හා ආරක්ෂිත ප්‍රතිකාර ලබාදීමට හැකියාව ලැබේ.

උත්සව අවස්ථාවෙන් අනතුරුව අමාත්‍යවරයා රෝහලේ ප්‍රධාන අංශ නිරීක්ෂණය කළ අතර, රුපියල් මිලියන 30කට ආසන්න වටිනාකමකින් යුත් එකෝ යන්ත්‍රයක් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් ද රෝහල වෙත භාර දෙන ලදී. රෝහල් කාර්ය මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, යාපනය ශික්ෂණ රෝහලේ පවතින මානව හා භෞතික සම්පත් සංවර්ධනය සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version