දිවයින පුරා වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 52.4%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වීම හේතුවෙන් එම පළාතේ රෝහල් පද්ධතිය දැඩි පීඩනයකට ලක්ව තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසන්නේ, රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයත් සමඟ බොහෝ රෝහල්වල ධාරිතාව උපරිම මට්ටමට පැමිණ ඇති බවයි.

මෙම තත්ත්වය තුළ රෝගීන් රැකබලා ගැනීමේ කටයුතු දැඩි අසීරුතාවකට සහ අවදානමකට ලක්ව ඇති බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. රෝගීන් වාර්තා වීමේ ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී මරණ සංඛ්‍යාව ද ඉහළ යාමේ අවදානමක් පවතින බව ඔහු වැඩිදුරටත් අනතුරු අඟවයි.

පවතින හදිසි තත්ත්වය පාලනය කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ වැඩිම රෝගීන් වාර්තා වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 22ක් කේන්ද්‍ර කරගනිමින් සතියක විශේෂ මර්දන වැඩසටහනක් දැනටමත් ආරම්භ කර තිබේ.

මෙම වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර තීරණය කිරීමට නියමිතය. රෝහල් පද්ධතියට එල්ල වී ඇති මෙම බලපෑම හමුවේ, හදිසි පියවරයන්ට මේ මොහොතේ ප්‍රමුඛතාව ලබා දී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version