ශ්‍රී ලංකාව තුළ හදිසි මරණ පරීක්ෂකවරුන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් නවතම උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනුව, අදාළ තනතුරු සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින් සපුරාලිය යුතු මූලික සුදුසුකම් පිළිබඳව අවධානය යොමු කර ඇත.
මෙම තනතුරු සඳහා අයදුම් කරන අයෙකු අදාළ හදිසි මරණ පරීක්ෂක කොට්ඨාසයේ ස්ථිර පදිංචිකරුවෙකු විය යුතුය. අයදුම්පත් භාරගන්නා අවසන් දිනට වයස අවුරුදු 30ට වැඩි සහ 55ට අඩු පුද්ගලයින්ට පමණක් අයදුම් කිරීමට අවස්ථාව හිමිවේ.
අධ්‍යාපනික සුදුසුකම් ලෙස අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් විෂයයන් තුනක් සමත් වී තිබීම අනිවාර්ය වේ. විශේෂයෙන්ම ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වූවන්ට ප්‍රමුඛතාවය ලබා දෙන බව අමාත්‍යාංශය පවසයි. මීට අමතරව, අයදුම්කරු යහපත් චරිතයකින් හෙබි, කායික හා මානසික නිරෝගීභාවයෙන් යුත් අයෙකු විය යුතුය.
අයදුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළවන ආදර්ශ ආකෘතියට අනුව හෝ අධිකරණ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් ලේකම්, අධිකරණ අමාත්‍යාංශය, කොළඹ 12 යන ලිපිනයට යොමු කළ යුතු අතර, අමාත්‍යාංශය වෙත කෙලින්ම භාර දීමට ද අවස්ථාව ඇත.
හදිසි මරණ පරීක්ෂකවරුන් සඳහා වන නව ආචාරධර්ම සංග්‍රහය සහ සේවා කොන්දේසි පිළිබඳ වැඩිදුර තොරතුරු අධිකරණ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හරහා ලබා ගත හැකි බව ද වැඩිදුරටත් දැනුම් දෙනු ලැබේ.
