කෘතිම බුද්ධි තාක්ෂණය වන ChatGPT හි සහාය ලබාගනිමින් සකස් කළ පරිගණක මෘදුකාංගයක් මගින් ජපානයේ ‘Bandai Channel’ නමැති සජීවී දර්ශන නැරඹීමේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කළ 15 හැවිරිදි උසස් පාසල් සිසුවෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිසුවා 2025 වසරේ නොවැම්බර් මාසයේදී අදාළ වෙබ් අඩවියේ පැවති ආරක්ෂක දුර්වලතාවක් හඳුනාගෙන, සාමාජික ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී ඒවා අවලංගු කළ හැකි පරිගණක ක්‍රියාවලියක් ChatGPT ආධාරයෙන් නිර්මාණය කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ලියාපදිංචි පරිශීලකයන් 46,812 දෙනෙකුගේ ගිණුම් ස්වයංක්‍රීයව අවලංගු වී ඇත.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී සිසුවා පවසා ඇත්තේ තමන් හතරවන ශ්‍රේණියේ සිටම පරිගණක ක්‍රමලේඛනය ස්වයං අධ්‍යයනයෙන් ඉගෙන ගත් බවයි. අදාළ සමාගම කෙරෙහි පෞද්ගලික වෛරයක් නොතිබූ බවත්, ආරක්ෂක පද්ධතියේ දුර්වලතා හේතුවෙන් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ගිණුම් විශාල ප්‍රමාණයක් තිබූ නිසා මෙම වෙබ් අඩවිය තෝරාගත් බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

සමාගම විසින් සිසුවාගේ IP ලිපිනය අවහිර කිරීමට උත්සාහ කළද, ඔහු 30 වතාවකට වඩා සිය IP ලිපිනය වෙනස් කරමින් අඛණ්ඩව මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. මීට පෙරද පරිගණක අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති මෙම සිසුවා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

සිද්ධියෙන් පීඩාවට පත් පාරිභෝගිකයන්ගෙන් සමාව අයැද සිටි ‘Bandai Namco Filmworks’ සමාගම, සේවාව අඩාල වූ කාලය සඳහා මුදල් ප්‍රතිපූරණය කිරීමට පියවර ගෙන ඇත. එසේම පරිශීලකයන්ගේ කිසිදු දත්තයක් කාන්දු වී නොමැති බවද සමාගම සහතික කර තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version