අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් ලක්ෂ දෙකක් ඵලදායී ආර්ථික ක්‍රියාවලියකට යොමු කරමින්, ඔවුන් සහනාධාර මත පමණක් යැපෙන තත්ත්වයෙන් මුදවා ගැනීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.

සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබන පවුල් ඒකක සැබෑ ලෙසම සවිබල ගැන්වෙන්නේද යන්න මැනිය හැකි විධිමත් මිණුම් ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ අනුව, විවිධ ආයතන හරහා විසිරී පවතින ප්‍රතිපාදන ඒකාබද්ධ කරමින්, දුගී බව තුරන් කිරීමේ විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

අඩු ආදායම්ලාභී පවුල් සහනාධාර මතම රඳවා නොගෙන, වැවිලි ක්ෂේත්‍රය වැනි අංශවල පවතින රැකියා අවස්ථා සඳහා ඔවුන් යොමු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. දැනටමත් පවුල් 16,000ක් සඳහා මනෝ-සමාජීය සහ ආර්ථික සහාය ලබා දීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවද නිලධාරීහු සඳහන් කළහ.

එසේම, ශ්‍රම දායකත්වයක් ලබා දිය නොහැකි ආබාධිත, වැඩිහිටි සහ නිදන්ගත රෝගීන් සහිත පවුල් රජය විසින් පූර්ණ ලෙස රැකබලා ගන්නා බවත්, ශ්‍රම ශක්තිය සහිත පිරිස රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගැනීමට සැලසුම් කර ඇති බවත් මෙහිදී සාකච්ඡා විය.

මීට අමතරව, රැකියාවේ නියුතු මව්වරුන් සහ ආබාධ සහිත දරුවන් වෙනුවෙන් දිවා සුරකුම් මධ්‍යස්ථාන 50ක් දිවයින පුරා ඉදිකිරීමටත්, පොදු ස්ථානවල ආබාධිත පුද්ගලයන් සඳහා ප්‍රවේශ පහසුකම් සැලසීමටත් රජය පියවර ගෙන ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version