බස්නාහිර පළාතේ මහ ඇමැතිවරයාව සිටියදී ඉඩමක් ගොඩකිරීමට අනුමැතිය ලබාදීම සඳහා අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට වරදකරු වූ හිටපු ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට නියම කළ රුපියල් ලක්ෂ 100ක වන්දි මුදල ගෙවා අවසන් කිරීම සඳහා 2027 වසරේ ජූලි 06 වැනිදා දක්වා කාලය ලබා දී තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා මෙම නියෝගය නිකුත් කළේය. නියමිත කාලසීමාව තුළ අදාළ වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත්, අභියාචනාධිකරණ නියෝගය කඩකිරීමේ වරද මත වසර 9ක සිරදඬුවමක් නියම කරන බවද අධිකරණය දැනුම් දුන්නේය.
මෙම නඩුවට අදාළව විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ පොරොන්දු වී ඇත්තේ නියමිත පරිදි වන්දි මුදල ගෙවා නිම කරන බවයි. ඒ අනුව විත්තිකරු මුදාහැරීමට පියවර ගැනිණි.
මීට පෙර කොළඹ මහාධිකරණය විසින් ප්‍රසන්න රණතුංග මහතාට බරපතළ වැඩ සහිත වසර 2ක සිරදඬුවමක් නියම කර එය වසර 5කට අත්හිටුවීමට නියෝග කර තිබුණි. ඊට අමතරව රුපියල් ලක්ෂ 250ක දඩයක් සහ රුපියල් ලක්ෂ 100ක වන්දි මුදලක් ගෙවීමටද නියෝග කෙරිණි. අදාළ වන්දි මුදලින් ලක්ෂ 40ක් මේ වන විටත් ගෙවා අවසන් කර ඇති බව වාර්තා වේ.
